බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වූ යුගයේ ස්වභාෂා අධ්‍යාපනයට හිමි වූයේ කුඩම්මාගේ සැලකිලිය. රජයේ අනුග්‍රහය මත ස්වභාෂා පාඨශාලා ක්‍රියාත්මක විිමත් සමඟ ස්වභාෂා අධ්‍යාපනය දියුණු කිරීමට රජය මෙන්ම මහජනයා ද නොඅඩුව සහය දැකවූහ.”ස්වභාෂා පාසලක් තම ප්‍රදේශයේ ආරම්භ කිරීමට අවශ්‍ය වූයේ නම් එයට අවශ්‍ය ගොඩනැගිල්ල මහජනයා විසින්ම සපයා දිය යුතුය” යන්න එදා රජයේ ප්‍රතිපත්තිය විය. එම ගොඩනැගිලි සැපයූ පසු ගුරුවරුන් පත්කොට ඔවුනට වැටුප් ගෙවා පාසල ආරම්භ කිරීම රජය විසින් සිදු කරනු ලැබුණි. කඳු වළල්ලකින් වට සුන්දර බිම් කඩෙක වැජඹෙන ඇටම්පිටිය නගරයේ ජනතාවටත් එදා ස්වභාෂා පාසලක දැඩි අවශ්‍යතාවය මතු වන්නට ඇත. ඇටම්පිටිය නගරයේ වර්තමාන පොලීසිය පිහිටන ස්ථානයේ ( එදා පොලීසිය නොතිබුණි.) කුඩා ගොඩනැගිල්ලක එවක තිබූ රජයේ ප්‍රතිපත්තිය මත ස්වභාෂා අධ්‍යාපන ආයතනයක් ඇරඹීම සඳහා ජනතාව එම භූමිය සපයා දීමත් සමඟ ස්වභාෂා පාසලක් එහි ආරම්භ විය.
1880 තෙක් ඈතට දිවෙන දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන බ/ඇටම්පිටිය ජාතික පාසලේ මුලාරම්භය එයයි. සීමිත ළමුන් හා ගුරු පිරිසකගෙන් ඇරඹී විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනය කරන විට ඓතිහාසික මූලාශ්‍රයක් අධ්‍යයනය කරන්නා සේ හැඟෙයි. ඒ වර්තමානයේ නගර මධ්‍යයේ කුඩා කඳු ගැටයක පිහිටි ආඩම්භරයෙන් වැජඹෙන ඇටම්පිටිය ජාතික පාසල අධිරාජ්‍ය පාලන යුගය දක්වා ඈතට දිවෙන වටිනා ඉතිහාසයකට උරුමකම් කියන අගනා මිණි කැටයක් නිසයි.
1880-1900 පමණ වනතෙක් එම ස්ථානයේම පාසල පවත්වාගෙන ගියත් පාසලක් පවත්වාගෙන යාමට තරම් එම පරිසරය නුසුදුසු විය. එහෙයින් K. G. D. සුවාරිස් අප්පු මුදලාලි විසින් පාසලක් ඉදිකිරීමට විශාල බිම් කඩක් පරිත්‍යාග කළේය. වර්තමාන ක්‍රීඩා පිටිය පිහිටි ස්ථානයේ කෙළවරක මානං සෙවිලි කළ කුඩා විදුහලක් බිහිවූයේ එම ඉඩමේයි. මූලිකව ඉගැන්වීම් කටයුතු කිරීම එයින් ආරම්භ වූ අතර 1901 වර්ෂයේ විදුහලට නව ආලෝකයක් ගෙන ආවේ පරිත්‍යාග කරන ලද එම ඉඩමෙහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසයි. (පසු කාලීනව නව ගොඩනැගිලි ඉදිවන තුරුම අධ්‍යාපන කටයුතු කලේ මේ ගොඩනැගිල්ලේයි.) මෙසේ ස්වභාෂා මිශ්‍ර පාසලක් ලෙස ඇටම්පිටිය විදුහල එවක අධ්‍යාපන ක්‍රමයට අනුව හැඩගැසෙන්නට වූයේ දිනෙන් දින දියුණුවට පත් වෙමිනි. (1999 වසර තෙක්ම ගොඩනැගිල්ලේ තිබුණේ ගුරු නිවාසයකි. එහෙත් පසුකාලීනව ඇටම්පිටිය පොලිස් ස්ථානය එහි ස්ථාන ගත කරන ලදී.)